FIRST

Forum of Incident Response Security Teams (FIRST) යනු සිදුවීම් ප්‍රතිචාර සහ ආරක්ෂක කණ්ඩායම් සඳහා වන ගෝලීය සංසදයයි. එම ආයතනය පරිගණක ආරක්ෂණ සිදුවීම් සම්බන්දයෙන් ක්‍රියාකරන ප්‍රමුඛතම සංවිධානය වේ. FIRST හි සාමාජිකත්වය ලබාගැනීම මඟින් සයිබර් ආරක්ෂක සිදුවීම් වලට කල්තියා මෙන්ම ප්‍රතික්‍රියාශීලීව ප්‍රතිචාර දැක්වීමට හැකිවේ.

Forum of Incident Response Security Teams (FIRST) විසින් රාජ්‍ය, වාණිජ හා අධ්‍යාපන යන අංශවල විවිධ පරිගණක ආරක්ෂණ සිදුවීම් ප්‍රතිචාර කණ්ඩායම් එකිනෙකට සම්බන්ධ කිරීම සිදු කරනු ලබන අතර FIRST හි මූලික අරමුණ වන්නේ තම සාමාජිකයින් සහ ප්‍රජාව අතර සයිබර් සිදුවීම් වැළැක්වීම සඳහා සහයෝගීතාව සහ සම්බන්ධීකරණය ප්‍රවර්ධනය කිරීමයි.

ජපානයේ CERT (JPCERT / CC), මැලේසියාවේ CERT (MyCERT) සහ ඕස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය (ACSC) යන කලාපයේ ස්ථාපිත CERT ආයතන වල සහය ලබා ගනිමින් ශ්‍රී ලංකා CERT ආයතනය 2009 වසරේදී FIRST හි පූර්ණ සාමාජිකත්වය ලබා ගන්නා ලදි.

FIRST හි පූර්ණ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා CERT | CC ආයතනය 2009 සිට මෙම ප්‍රජාවේ ක්‍රියාකාරකම් සමඟ සමීපව සම්බන්ධ වී සිටී. වර්තමානයේ FIRST හි සාමාජිකයින් 300 කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර අප්‍රිකාව, ඇමරිකාව, ආසියාව, යුරෝපය සහ මධ්‍යම හා දකුණු පැසිපික් සාගර කළාපය පුරා භූගෝලීය වශයෙන් ව්‍යාප්ත වී ඇත.

FIRST සමඟ සිදුකරන ක්‍රියාකාරකම්

වාර්ෂික මහා සභා රැස්වීම සහ සමුළුව

FIRST හි පූර්ණ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා CERT |CC හට FIRST හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තෝරා පත් කර ගැනීමේ ඡන්ද අයිතිය ඇති අතර ඒ සදහා වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වීම අනිවාර්‍ය වේ. මෙය ශ්‍රී ලංකා CERT හි අත්‍යවශ්‍ය මෙහෙයුම් අවශ්‍යතාවයක් ලෙස සැලකේ.

CSIRT ක්‍ෂේත්‍රයේ මෙන්ම ගෝලීය සයිබර් ආරක්ෂක ප්‍රජාවේ ප්‍රමුඛ පෙළේ විශේෂඥයින් විසින් ඉදිරිපත් කරනු ලබන පුළුල් පරාසයක විහිදුන දැනුවත් කිරීම්වලට සහභාගී වීමට වාර්ෂික FIRST සමුළුව මඟින් පසුබිමක් සපයයි. තවද මෙම සමුළුව සඳහා සහභාගී වෙන්නන් හට තාක්ෂණික තොරතුරු හුවමාරු කර ගැනීමට සහ සහයෝගීතාවය වර්ධනය කරගැනීමට අවස්ථාවක් සැලසේ.

වාර්ෂික CSIRT රැස්වීම

වාර්ෂික FIRST සමුළුවෙන් පසු, ඇමරිකා එක්සත් ජනපදයේ කානගී මෙලන් විශ්ව විද්‍යාලයේ CERT සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් ජාතික වගකීම සහිත CSIRT සඳහා වාර්ෂික රැස්වීමක් පවත්වනු ලබයි. මෙම රැස්වීම හරහා ජාතික CERT ආයතනයන් හට තම රජයන්ගේ, රාජ්‍ය ආර්ථිකයන්ගේ සහ තීරණාත්මක යටිතල ව්‍යුහයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා වූ අභියෝගයන් ඇතුළු කාර්යභාරය පිළිබද කතිකාවතක් ඇතිකර ගැනීමට අවස්ථාව සැලසේ.

ජාතික සම්බන්ධතා මධ්‍යස්ථානය ලෙස, ශ්‍රී ලංකා CERT | CC ආයතනය, ජාතික CSIRT ප්‍රජාවේ සාමාජිකයෙකු වන අතර මෙම රැස්වීම් සඳහා ක්‍රියාකාරී ලෙස දායක වේ.

තොරතුරු හුවමාරු කර ගැනීම

FIRST හි සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා CERT | CC ආයතනය හට සයිබර් ආරක්ෂාව පිළිබඳ තොරතුරු දිනපතාම පාහේ ලැබෙන අතර, දැන ගැනීමේ අවශ්‍යතාවය මත මෙම තොරතුරු අදාල පාර්ශවයන් හට බෙදා හරිනු ලැබේ.

img